තාක්ෂණික ලෝකයේ පවතින සුළු අතපසුවීමකින් ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි දැවැන්ත බලපෑම පිළිබඳව කදිම උදාහරණයක් ප්‍රංශයෙන් වාර්තා වනවා. ඒ ප්‍රංශ නාවික හමුදාවට අයත් ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Charles de Gaulleහි රහසිගත පිහිටීම, එහි සිටි සෙබළෙකු භාවිතා කළ Strava නම් Fitness app එක හරහා අහම්බෙන් හෙළිවීමත් සමඟයි.
සිදුවීම සිදු වූ ආකාරය
ප්‍රංශ මාධ්‍ය ආයතනයක් වන Le Monde සිදු කළ විමර්ශනයකට අනුව, නෞකාවේ සේවය කළ තරුණ නිලධාරියෙකු නෞකාවේ තට්ටුව මත විනාඩි 35 ක කාලයක් පුරා කිලෝමීටර් 7 ක පමණ දුරක් දිවීමෙහි නිරත වී තිබෙනවා.
ඔහු මෙම ව්‍යායාමය සිය Smartwatch හරහා Strava Fitness app එකට එක් කර ඇති අතර, ඔහුගේ Strava ගිණුම Public මට්ටමේ පැවතීම නිසා එම දත්ත අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
මැදපෙරදිග මුහුදේ මැද, එකම ස්ථානයක රවුමට දුවන ලද සලකුණු එම Strava Fitness app එක හරහා පරීක්ෂා කළ පුවත්පත් වාර්තාකරුවන්, එම දත්ත සැටලයිට් පින්තූර සමඟ සසඳා බලා එය නෞකාව බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව, මාර්තු 13 වනදා වන විට නෞකාව සයිප්‍රසයට වයඹ දෙසින්, තුර්කි වෙරළට කිලෝමීටර් 100 ක් පමණ දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබූ බව හෙළිවුණා.

ආරක්ෂක අවදානම
මෙම නෞකාව මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය (ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්) මධ්‍යයේ ආරක්ෂක මෙහෙයුමක් සඳහා යොදවා තිබූ එකක් වන අතර නෞකාව එම කලාපයට යවන ලද බව ප්‍රසිද්ධ කරුණක් වුවද, එහි නිශ්චිත පිහිටීම මෙසේ ප්‍රසිද්ධ වීම දැවැන්ත ආරක්ෂක දෝෂයක් ලෙස සලකන්න පුලුවන්.
ප්‍රංශ සන්නද්ධ හමුදා මූලස්ථානය පවසන්නේ මෙය පවතින ආරක්ෂක නීති රීති උල්ලංඝනය කිරීමක් බවත්, අදාළ නිලධාරියාට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. සෙබළුන්ට සිය පෞද්ගලික ඩිජිටල් උපාංග භාවිතා කිරීමේදී Digital hygiene අනුගමනය කරන ලෙස නිරන්තරයෙන් උපදෙස් දෙන බව ද ඔවුන් පවසා තිබෙනවා.
මීට පෙරත් මෙවැනි දේ සිදු වී තිබේද?
මෙය Strava හරහා හමුදා රහස් හෙළි වූ ප්‍රථම අවස්ථාව නොවන අතර 2018 වසරෙදී Strava හි "Heatmap" විශේෂාංගය හරහා ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ සිරියාවේ පිහිටි රහසිගත ඇමරිකානු හමුදා කඳවුරු සහ සෙබළුන් ගමන් කරන මාර්ග හෙළිවූ අතර 2024 වසරෙදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ව්ලැඩිමීර් පුටින්ගේ ආරක්ෂක නිලධාරීන් Strava භාවිතා කිරීම නිසා එම නායකයින්ගේ රහසිගත පිහිටීම් අනාවරණය වීමත් සිදු වූවා.
Source: www.euronews.com








