Loading...
"ජාතික QR ගෙවීම් හඳුන්වා දීමේ වැඩසටහන" නිල වශයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා මෙහෙයවීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, "ජාතික QR ගෙවීම් හඳුන්වා දීමේ වැඩසටහන" (National QR Payment Adoption Programme) අද (2026 අප්‍රේල් 06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලැබුවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛතම ප්‍රමුඛතාවක් බව යළිත් අවධාරණය කෙරුණ අතර අද සිටම, රුපියල් 5,000 ට අඩු සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate - MDR) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් රජය කටයුතු කරනු ලැබුවා.

රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතා සහ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 89% කට බැංකු පහසුකම් පැවතියද, එදිනෙදා සිල්ලර වෙළඳාමෙන් 99% ක්ම තවමත් සිදුවන්නේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් බවයි.

වාර්තා අනුව පසුගිය වසරේ අවසන් කාර්තුව වන විටත් QR තාක්ෂණය භාවිතා කර ඇත්තේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් පමණ වනවා. කාසි සහ මුදල් නෝට්ටු මත යැපීම අඩු කර, වඩාත් විනිවිදභාවයෙන් යුත්, කාර්යක්ෂම සහ ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ස්ථාපනය කිරීම මෙම ජාතික QR ගෙවීම් හඳුන්වා දීමේ වැඩසටහනේ අරමුණ වනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව, GovTech ආයතනය, LankaPay සහ සියලුම මූල්‍ය ආයතන එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඔස්සේ;

  • රු. 5,000 ට අඩු ගනුදෙනුවලට පවතින සේවා ගාස්තු ඉවත් කිරීම සිදු කරනවා (අද සිට ක්‍රියාත්මකයි)
  • මහජනතාව සහ වෙළඳුන් දිරිමත් කිරීම සඳහා විශේෂ වරප්‍රසාද හඳුන්වා දීම සිදු කරනවා. (මිලියනයක් දක්වා ජයග්‍රහණ හිමිවන ලොතරැයි වැඩසටහනක්
    මහජනතාව සහ වෙළඳුන් මෙම ක්‍රමයට ඉක්මනින් හුරු කිරීම සඳහා විශේෂ ලොතරැයි වැඩසටහනක් ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත)
  • ගෙවීම් පද්ධතිය වඩාත් සරල සහ වේගවත් කරන නවීන තාක්ෂණික මෙවලම් හඳුන්වා දීමට නියමිතයි.
  • සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමටත් නියමිතයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, ATM යන්ත්‍ර හරහා මුදල් ලබා දීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර ජනතාව QR ගෙවීම්වලට හුරු වීමෙන් එම පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බවයි. එය බැංකු පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද දායක වනු ඇතැයි එතුමා වැඩි දුරටත් දක්වා සිටියා.

Source: Department of Government Information - Sri Lanka