Loading...
OpenAI වෙතින් ‘ChatGPT Health’ එළිදක්වයි

කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්තයා වන OpenAI සමාගම විසින් පරිශීලකයින්ගේ සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කර වඩාත් පුද්ගලික සහ නිවැරදි සෞඛ්‍ය උපදෙස් ලබා දිය හැකි 'ChatGPT Health' නම් නවතම විශේෂාංගය නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා. මෙමගින් Apple Health සහ MyFitnessPal වැනි ජනප්‍රිය සෞඛ්‍ය යෙදුම් සමඟ ChatGPT සෘජුවම සම්බන්ධ කළ හැකියි.

සෑම සතියකම මිලියන 230කට අධික පාරිභෝගිකයින් පිරිසක් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ChatGPT වෙතින් සහය ලබා ගන්නා බව හඳුනා ගැනීමෙන් පසුව සමාගම මෙම පියවර ගෙන තිබෙනවා.

ChatGPT Health හි ප්‍රධාන විශේෂාංග

මෙම නව සේවාව සාමාන්‍ය ChatGPT සංවාදවලින් වෙන්ව වඩාත් ආරක්ෂිතව තුළ ක්‍රියාත්මක වන අතර ඔබට ඔබගේ Apple Health, MyFitnessPal, Peloton, AllTrails සහ Instacart වැනි ගිණුම් මෙයට සම්බන්ධ කළ හැකියි. මෙය ඔබගේ හෘද ස්පන්දනය, නින්දේ රටාවන්, පියවර ගණන සහ ආහාර වේලෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ විශ්ලේෂණය කර ඔබට ගැලපෙන ව්‍යායාම හෝ ආහාර රටාවන් යෝජනා කරනු ලබනවා.

එමෙන්ම රසායනාගාර පරීක්ෂණ වාර්තා (Lab results) සරල භාෂාවෙන් තේරුම් කර දීමට සහ වෛද්‍යවරයෙකු හමුවීමට පෙර ඇසිය යුතු ප්‍රශ්න සකස් කර දීමට ද මෙයට හැකියාව තිබෙනවා. මෙය නිර්මාණය කිරීම සඳහා රටවල් 60ක වෛද්‍යවරුන් 260කට අධික පිරිසකගේ උපදෙස් ලබාගෙන ඇති අතර වාර ලක්ෂ 6කට වඩා වැඩි ප්‍රමාණයක් එහි නිරවද්‍යතාවය පරීක්ෂා කර තිබෙනවා.

Image Source - openai.com

දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය

සෞඛ්‍ය දත්ත ඉතා සංවේදී බැවින් OpenAI විසින් මෙහිදී දැඩි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කර තිබෙන අතර සෞඛ්‍ය සම්බන්ධ සංවාද සහ දත්ත අනෙකුත් සාමාන්‍ය සංවාදවලින් සම්පූර්ණයෙන්ම වෙන් කර තැබෙන අතර (Sandboxed environment) මෙම දත්ත Encrypt කර තිබෙනවා. එමෙන්ම ඔබ ChatGPT Health තුළ සිදු කරන කිසිදු සංවාදයක් හෝ ලබා දෙන දත්ත OpenAI හි ප්‍රධාන AI මාදිලි පුහුණු කිරීම සඳහා භාවිතා නොකරන බව සමාගම සහතික වනවා. තවද ඔබට ඕනෑම වේලාවක සම්බන්ධ කර ඇති යෙදුම් ඉවත් කිරීමට හෝ ඔබගේ සෞඛ්‍ය මතකයන් මකා දැමීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ලබා ගත හැක්කේ කා හටද?

දැනට මෙය සීමිත පරිශීලකයින් පිරිසකට (Beta users) පමණක් ලබා දී ඇති මේ විශේෂාංගය ChatGPT Free, Plus, Pro සහ Go සාමාජිකයින්ට ලබා ගත හැකි වනු ඇත. එමෙන්ම දැනට Web සහ iOS හරහා ලබා ගත හැකි අතර, Android සඳහා ද ඉක්මනින් නිකුත් වනු ඇත. මෙහි Waitlist එක සඳහා මෙතනින් එක් විය හැකියි.


OpenAI අවධාරණය කරන්නේ ChatGPT Health යනු ඔබගේ වෛද්‍යවරයාට විකල්පයක් නොවන බවයි. එය හුදෙක් ඔබව දැනුවත් කිරීමට සහ සහය වීමට (Support, not replace) නිර්මාණය කර ඇති අතර, කිසිදු රෝග විනිශ්චයක් (Diagnosis) හෝ ප්‍රතිකාරයක් (Treatment) සඳහා මෙය භාවිතා නොකළ යුතුය.

Source: openai.com