Loading...
SpaceX සහ xAI එක්ව ලොව වටිනාම පෞද්ගලික සමාගම බිහි කරයි

Elon Musk විසින් සිය අභ්‍යවකාශ තාක්ෂණ සමාගම වන SpaceX සහ කෘත්‍රිම බුද්ධි සමාගම වන xAI එකිනෙකා සමඟ ඒකාබද්ධ කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. පෙබරවාරි 2 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයකට අනුව SpaceX විසින් xAI සමාගම අත්පත් කර ගන්නා අතර මෙමඟින් SpaceX ලොව වටිනාම පෞද්ගලික සමාගම බවට පත්වනු ඇත.

මෙම නව ඒකාබද්ධයත් සමඟ SpaceX සමාගමේ වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම ඒකාබද්ධයට හේතුව කුමක්ද?

Elon Muskගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ AI තාක්ෂණය සඳහා පෘථිවිය මත පවතින විදුලිය සහ බලශක්ති ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම නිසා ඇතිවන අර්බුදයට විසඳුමක් සෙවීම වන අතර මේ සඳහා ඔහු විසින් පෘථිවිය මත AI දත්ත මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය අධික විදුලිය සහ ඉන් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා, අභ්‍යවකාශය තුළ AI දත්ත සැකසීම (Computations) සිදු කිරීමට මස්ක් සැලසුම් කර තිබෙන අතර, ඔහු ඇස්තමේන්තු කරන්නේ වසර දෙක තුනක් ඇතුළත අභ්‍යවකාශයේ AI දත්ත සැකසීම පෘථිවියට වඩා අඩු පිරිවැයකින් කළ හැකි වනු ඇති බවයි. එමෙන්ම AI දත්ත ඉල්ලුම සපුරාලීම සඳහා චන්ද්‍රිකා මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් අභ්‍යවකාශයට යැවීමට SpaceX දැනටමත් අවසර ඉල්ලා තිබෙනවා.


මෙම ඒකාබද්ධයත් සමඟ OpenAI (ඩොලර් බිලියන 500ක් ලෙස සැලකෙන) අභිබවා යමින් ලොව ප්‍රබලතම පෞද්ගලික සමාගම බවට පත්වීමට SpaceX සමත් වී තිබෙනවා. එසේම ඔහු සිය සමාගමේ කොටස් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වන අතර එවිට එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.5ක් දක්වා ඉහළ යා හැකි බව පැවසේ. මෙය ඔහුගේ පෞද්ගලික ධනය තවත් දෙගුණ කිරීමට සමත් වන අතර එය ඩොලර් බිලියන 900ක් පමණ වනු ඇතැයි ගණනය කර ඇත.

Source: www.bgr.com