ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් භාවිතා කරන Android මෙහෙයුම් පද්ධතියේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි ඇති නිදහසයි. විශේෂයෙන්ම 'Google Play Store' වෙතින් බැහැරව වෙනත් මූලාශ්‍ර හරහා Apps Sideloading කිරීමට ඇති පහසුකම Android පරිශීලකයන්ට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. කෙසේ වෙතත්, මෑතකාලීනව සිදුවන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් වැළැක්වීම සඳහා Google සමාගම මෙම ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ කිරීමට පියවර ගෙන තිබේ.
බොහෝ දෙනෙකු බිය වූයේ Google විසින් මෙම Sideloading පහසුකම සහමුලින්ම ඉවත් කරනු ඇතැයි කියා වුවද, දැන් ලැබෙන වාර්තාවලට අනුව එම පහසුකම ඉවත් වන්නේ නැත. ඒ වෙනුවට, පරිශීලකයාගේ ආරක්ෂාව තහවුරු කෙරෙන Advanced Flow නැමැති නව ක්‍රියාපටිපාටියක් හඳුන්වා දී ඇත.
අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචාකරුවන් බොහෝ විට සිදු කරන්නේ පුද්ගලයන් බිය ගන්වා, ඔවුන් ලවා දුරකථනයට හානිකර Malicious Apps ස්ථාපනය කරවා ගැනීමයි. මෙහිදී "ක්ෂණිකව මෙය කරන්න" යනුවෙන් බලපෑම් කරමින් පරිශීලකයාට සිතීමට කාලයක් නොදී මෙම ක්‍රියාව සිදු කරයි. මෙම නව ක්‍රමවේදය හරහා මෙය පාලනය කිරීමට බලාපොරොත්තු වේ.
නව ක්‍රමය යටතේ Sideloading සිදු කරන ආකාරය
මින් ඉදිරියට Unverified Applications ස්ථාපනය කිරීමට නම් පරිශීලකයන් පියවර කිහිපයකින් සමන්විත ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය. එය සරල පියවර පහකින් මෙසේ දැක්විය හැකිය.
- Developer Mode සක්‍රිය කිරීම: පළමුව Settings වෙත ගොස් දුරකථනයේ About phone හි ඇති Build number මත 7 වරක් Touch කර Developer Mode සක්‍රිය කළ යුතුය. මෙය සාමාන්‍ය පරිශීලකයෙකු අතින් අත්වැරදීමකින් සිදු නොවන දෙයකි.
- බලපෑමක් නොමැති බව තහවුරු කිරීම: මෙහිදී පද්ධතිය විසින් ඔබෙන් ප්‍රශ්න කරනු ලබයි. කිසිවෙකු ඔබව මෙහෙයවමින් හෝ බලපෑම් කරමින් මෙය සිදු කරවා ගන්නේද යන්න ඔබ විසින්ම තහවුරු කළ යුතුය.
- දුරකථනය Restart කිරීම: ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දුරකථනය ක්‍රියා විරහිත කර නැවත පණ ගැන්විය යුතුය. මෙයින් අදහස් කරන්නේ යම් වංචාකරුවෙකු දුරකථන ඇමතුමක් හරහා ඔබව හසු කර ගැනීමට උත්සාහ කරන්නේ නම්, එම ඇමතුම විසන්ධි වී ඔබට තීරණයක් ගැනීමට අවස්ථාව ලැබීමයි.
- පැය 24ක රැඳී සිටීමේ කාලය (Cooling-off period): මෙය වඩාත්ම තීරණාත්මක පියවරයි. ඔබ සියලු සැකසුම් සකස් කළත්, අදාළ App එක ස්ථාපනය කිරීමට පැය 24ක් බලා සිටිය යුතුය. මෙමගින් වංචාකරුවන්ගේ හදිසි අවශ්‍යතාවය අඩපණ වේ.
- Verification: පැය 24කට පසු Fingerprint, Face Unlock හෝ PIN අංකය මගින් මෙය ඔබම බව නැවත තහවුරු කළ යුතුය.
මෙම පියවර අවසානයේදී ඔබට අදාළ App එක ස්ථාපනය කිරීමට අවසර ලැබේ. මෙහිදී දින 7ක තාවකාලික අවසරයක් හෝ ස්ථිර අවසරයක් ලබා ගැනීමට පරිශීලකයාට තේරීමක් ලබා දී ඇත.
විශේෂඥයන් පවසන පරිදි, මෙය Android පද්ධතියේ ආරක්ෂාව ඉහළ නැංවීමට ගත් ඉතා සාධාරණ පියවරකි. සාමාන්‍ය පරිශීලකයන් මේ හරහා අනාරක්ෂිත Application මගින් සිදුවන හානිවලින් තරමක් දුරට ආරක්ෂා විය හැකි වනවා.
කෙසේ වෙතත්, මෙය තරමක් කරදරකාරී ක්‍රියාවලියක් බව සමහරුන්ගේ මතයයි. විශේෂයෙන්ම F-Droid වැනි විකල්ප App Stores භාවිතා කරන්නන්ට මෙය යම් බාධාවක් වනු ඇත. නමුත් Google සමාගම අවධාරණය කරන්නේ ඔවුන්ගේ අරමුණ නිදහස අහුරා දැමීම නොව, වගකීම් සහගත නිදහසක් ලබා දීමයි.
Source: TechDroider








