ලොව ප්‍රමුඛතම තාක්ෂණික ආයතනයක් වන Apple සමාගම, සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ වන විට ලොව පුරා සක්‍රීයව භාවිත වන Apple උපාංග සංඛ්‍යාව බිලියන 2.5 සීමාව ඉක්මවා ගොස් ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. එනම් ආසන්නවම ලෝකයේ සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම Apple උපාංගයක් භාවිතා කරන බවයි. 2026 වසරේ පළමු කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාව එළිදක්වමින් Apple ප්‍රධාන විධායක නිලධාරී Tim Cook මහතා මේ බව තහවුරු කර තිබෙනවා.
පසුගිය වසර ජනවාරි මාසයේදී මෙම සංඛ්‍යාව බිලියන 2.35ක් ලෙස වාර්තා වූ අතර, වසරක් ඇතුළත නව උපාංග මිලියන 150ක් Apple ජාලයට අලුතින් එක් වී තිබෙනවා. මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ iPhone 16 සහ iPhone 17 මාදිලි සඳහා ලොව පුරා පවතින විශ්මයජනක ඉල්ලුම බව ඔහු දක්වා තිබෙනවා. iPhone එකක් භාවිතා කරන අයෙකු Mac, Apple Watch, iPad හෝ AirPods වැනි තවත් Apple නිෂ්පාදන මිලදී ගැනීමට පෙළඹීම මෙම ඉහළ වර්ධනයට ප්‍රබල හේතුවක් වී තිබෙනවා.
මීට අමතරව Apple සමාගම මෙවර සිය ඉතිහාසයේ හොඳම කාර්තුමය ආදායමත් වාර්තා කර තිබෙනවා. මුළු ආදායම ඩොලර් බිලියන 143.7 ක් වන අතර එය පසුගිය වසරට වඩා 16% ක ඉහළ යාමක්. මීට අමතරව iCloud, Apple Music සහ App Store වැනි සේවාවන් හරහා ලැබෙන ආදායම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර ලොව පුරා බිලියන 2.5ක උපාංග පවතින බැවින්, මෙම සේවාවන් සඳහා ඇති වෙළඳපොළ ද තවදුරටත් පුළුල් වී තිබෙනවා.
2026 වසර සඳහා Apple සමාගම සතුව ඉතා අභිලාෂකාමී සැලසුම් පවතින අතර ඉදිරි මාස කිහිපය තුළ නව නිෂ්පාදන රැසක් වෙළඳපොළට නිකුත් කිරීමට ඔවුන් සූදානම් වනවා. මේ නිසා ලබන වසරේදී මෙම සක්‍රීය උපාංග සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි විචාරකයෝ දක්වනවා.
Source: www.apple.com 9to5mac.com








