ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවන්හි ගාස්තු ගෙවීම සඳහා බැංකු කාඩ්පත් (Debit/Credit Cards) භාවිතා කිරීමේ හැකියාව ලබා දීමේ පළමු අදියරය ඔස්සේ පසුගිය වසර නොවැම්බර් මාසයේදී තෝරා ගත් ප්‍රධාන බස් මාර්ග සඳහා හඳුන්වා දෙනු ලැබුවා. එහි ඉදිරි අදියරයන් සඳහා බැංකු කාඩ්පත් සේවා සපයන සමාගම් විසින් අය කරනු ලබන කොමිස් මුදල ඉවත් කිරීමට එකඟතාවය පළ කර ඇති බව ප්‍රවාහන අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.
මෙම තීරණයත් සමඟ මගීන්ට මෙන්ම බස් රථ හිමියන්ට ද මූල්‍යමය වාසියක් අත්වන අතර, ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.
අමාත්‍යවරයා අනාවරණය කළ ප්‍රධාන කරුණු:
- වෙනම ප්‍රවාහන කාඩ්පත් අවශ්‍ය නොවේ - වෙනම ප්‍රවාහන කාඩ්පත් (Transport Cards) මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම සඳහා විශාල පිරිවැයක් සහ සංකීර්ණ පද්ධතියක් අවශ්‍ය වන බැවින් දැනට ජනතාව සතුව ඇති සාමාන්‍ය බැංකු කාඩ්පත් (Debit/Credit Cards) ප්‍රවාහන ගාස්තු ගෙවීම සඳහා භාවිතා කිරීම වඩාත් ප්‍රායෝගික වනවා.
- කාඩ්පත් සමාගම්වල එකඟතාවය - ලංකාව තුළ බැංකු කාඩ්පත් සේවා සපයන ප්‍රධාන ජාත්‍යන්තර කාඩ්පත් සමාගම් දෙක සමඟ ප්‍රවාහන හා ඩිජිටල් අමාත්‍යාංශ සහ මහ බැංකුව සාකච්ඡා පවත්වා ඇති අතර ඉන් එක් ප්‍රධාන සමාගමක් දැනටමත් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රවාහන ගාස්තු ගෙවීමේදී තමන්ට හිමිවන කොමිස් මුදල අය නොකරන බවයි. එමෙන්ම අනෙක් සමාගම ද ඒ සඳහා සිය එකඟතාවය පළ කර තිබෙනවා.
- බස් හිමියන්ට සහනයක් - බැංකු කාඩ්පත් මඟින් ගාස්තු ගෙවීමේදී මෙතෙක් අය වූ යම් ප්‍රතිශතයක කොමිස් මුදල ඉවත් වීම නිසා බස් රථ හිමියන් වෙත සම්පූර්ණ ගමන් ගාස්තුවම හිමිවනවා.
- විදේශයන්ට මුදල් ඇදී යාම පාලනය - බැංකු කාඩ්පත් සේවා සපයන සමාගම් විදේශීය සමාගම් බැවින් කොමිස් මුදල ලෙස රටින් පිටතට මුදල් ඇදී යන බවට පවතින තර්කය ද මෙම කොමිස් මුදල ඉවත් කිරීම හරහා විසඳෙනවා.
මෙම නව ක්‍රමවේදය ඉතා කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන අතර එමඟින් මගීන්ට මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට ද විශාල සහනයක් සැලසෙනු ඇති බව අමාත්‍යයවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මේ වන විට Google Pay පහසුකමත් ලංකාවට හිමිව තිබෙන බැවින් මෙය ඉතා වටින තිරණයක් බව දක්වන්න පුලුවන්.
Source: ඒසැණ Youtube Channel








